බොහෝ ප්‍රදේශවල මැතිවරණය සාමකාමියි!
(Created date: 27-Jan-2010) Back
බොහෝ ප්‍රදේශවල මැතිවරණය සාමකාමියි!
අවුරුදු 30 ට නොඅඩු ශ්‍රී ලාංකිකයකු නම්
ජනාධිපති ධුරයට සුදුසුකම් තිබෙනවා
රනිල් වික්‍රමසිංහ
ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තිබිය යුතු සුදුසුකම වන්නේ අවුරුදු 30 නොඅඩු ශ්‍රී ලාංකීය පුරවැසියකු වීම බවත් එම සුදුසුකම සම්පූර්ණ කොට ඇති ජෙනරාල් සරත් ෆොන්සේකා නියත වශයෙන්ම රටේ ජනාධිපති ධුරයට පත්වන බවත් එක්සත් ජාතික පෙරමුණේ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) පැවැසීය.
වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ 07 රාජකීය මාවතේ පිහිටි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ඊයේ (26 වැනිදා) සවස පැවැති විශේෂ පුවත්පත් සාකච්ඡාවකදීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
ජනාධිපතිවරණය රටේ බොහෝ ප්‍රදේශයන්හි සාමකාමීව පවත්වා ගැනීමට ඇප කැපවී ක්‍රියා කළ රාජ්‍ය සේවකයිනටත්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ටත් අපගේ ස්තූතිය ප්‍රකාශ කරනවා.
ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවූයේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ජනතාව පෙළ ගැසුණු නිසයි. ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ද රාජ්‍ය සේවකයින්ට ද ජනතාව සමග ඉදිරියට යැමට සිදුවුණා.
කෙසේ නමුත් උතුරේ සමහර ප්‍රදේශයන්හි සමහර ජනයාට සිය ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව නොතිබූ අතර යුද්ධයෙන් අවතැන්ව සරණාගත කඳවුරුවල සිටින ජනයාට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යැමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ආණ්ඩුව සැලසුවේ නැත.
උතුර, දකුණ, නැගෙනහිර, මධ්‍යම, වයඹ, සබරගමුව, උතුරුමැද සහ ඌව යන රටේ සියලු පළාත්වල ඡන්දය පාවිච්චි කෙරුණු ස්වභාවයෙන් හෙළිවන්නේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා අද (27 වැනිදා) සවස් වන විට මේ රටේ ජනාධිපති ධුරයට පත්වන බවයි.
කෙසේ නමුත් කිසිවක් කරගත නොහැකිව අවසන් අවස්ථාවේදී ජනතාව නොමග යෑවීම සඳහාත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට දේශපාලන මඩ ප්‍රහාර එල්ල කිරීම සඳහාත් එතුමාට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට අයිතියක් නැතැයි කියමින් අභූත සහ අසත්‍ය ප්‍රචාරයක් පතුරුවා හැරියා.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තිය අනුව රටේ ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තිබිය යුතු එකම සුදුසුකම වන්නේ ශ්‍රී ලාංකික පුරවැසියකු වීම සහ වයස අවුරුදු 30 ට නොඅඩු අයෙකු වීමයි.
ඇත්ත වශයෙන්ම මේ කතාව මහ පුදුමයක්. 2008 දෙසැම්බර් මාසයේ දී මේ ප්රශ්නය අප විස ගත්තා. ඒ අනුව එස්. බී. දිසානායක මහතාට ඡන්ද බලයක් නොමැතිව මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සබරගමු පළාත් සභාවේ මහ ඇමැති ධුරයට තරග කිරීමට අවස්ථාව උදා වුණා.
එමෙන්ම ටී. බී. සුභසිංහ මහතා 1970 කටුගම්පොළ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ අප ඔහුට විරුද්ධව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළා.
ඔහුට විරුද්ධව එදා එක්සත් ජාතික පක්ෂයේ අප ද ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වුණත් ඔහු ඒ අවස්ථාවේදී ඡන්දදායකයකු නොවුණු නිසයි. කෙසේ නමුත් ඔහු ඡන්දදායකයකු නොවීම කිසිදු ප්‍රශ්නයක් නොවන බව එවකට අගවිනිසුරු එච්. එන්. ජී. ප්‍රනාන්දු මහතා තීන්දු කළා.
කෙතරම් දේශපාලන මඩ ප්‍රහාර එල්ල කළත් අප නියත ලෙස ජයග්‍රහණය කරන නිසා සාමය ආරක්ෂා කරන්නැයි සියල්ලන්ගෙන් මම ඉල්ලා සිටිනවා.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා(- ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට ඒ මැතිවරණය නිදහස්ව සහ සාධාරණව පැවැත්වීමට ආණ්ඩුව කිසිදු අයුරකින් කිසිදු ක්‍රියා මාර්ගයක් අනුගමනය නොකළ බවට අප චෝදනා කරනවා.
ආණ්ඩුව සිය ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය වෙනුවෙන් මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් සහ රාජ්‍ය සම්පත් උපරිමයෙන් පාවිච්චි කළා.
මැතිවරණ කොමසාරිස්වරයා රාජ්‍ය මාධ්‍ය වෙනුවෙන් පත් කළ නිසි බලධරයාගේ පත් කිරීම නිවැරදි බවත්, ඒ අනුව රාජ්‍ය මාධ්‍ය ඔහුගේ උපමාන අනුව කටයුතු කළ යුතු බවත් ශේ්‍රෂ්ඨාධිකරණය නියෝග කොට තිබියදී පවා රාජ්‍ය මාධ්‍ය ඒ අනුව ක්‍රියා නොකළ බව කිව යුතුයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා
උතුරේ ඡන්ද ගණන් කිරීම වහාම නතර කරන ලෙසට ආණ්ඩුවෙන් බලපෑම් එල්ල වී ඇති බවට අපට කරුණු වාර්තා වී තිබෙනවා. අවුරුදු ගණනාවක් යුද්ධයෙන් පීඩා විඳි උතුරේ ජනතාව යුද්ධයෙන් පසුව එළැඹි ජනාධිපතිවරණ දින උදෑසන බියගැන්වීම සඳහා බෝම්බ පුපුරුවා හරිද්දී පවා නිර්භීතව ඡන්දපොළට ගොස් ඡන්දය පාවිච්චි කළා.
උතුරේ ජනතාවගේ තීන්දුව විකෘති කිරීමට යම්කිසි බලපෑමක් එල්ල කළහොත් එය ප්රජාතන්ත්රවාදයට එල්ල කරන බලවත් පහරක් බව කිව යුතුයි.
පියසේන දිසානායක

