ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙකුගේ එකතුවෙන් නායකයන් තනන යුගය මේ මැතිවරණයෙන් ඉවරයි
(Created date: 31-Mar-2010) Back
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඉකුත් 27 වැනිදා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සන්ධානයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ සංවිධානය කරතිබූ රැස්වීමට සහභාගී වෙමිනි.
මෙහිදී අසාද් සාලි මහතාගේ මෙහෙවර පිළිබඳව "නව යුග දැක්ම" සංග්‍රහය ජනාධිපතිවරයා වෙත පිළිගැන්විය. අනතුරුව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
මම සන්තෝෂ වෙනවා. මෙතනට ඇවිත් ඔබතුමන්ලා ඇමතීමට ලැබීම ගැන. 2005 වසරේදී රටේ ජනතාව මා කෙරෙහි විශ්වාසය පළකර රට එක්සත් කිරීමට හා සියලු ජාතීන් එක් කිරීමට වරමක් ලබාදුන්නා.
රට මා බාරගන්න කොට උතුරේ මුස්ලිම් ජනතාව ඒ ප්‍රදේශයෙන් එල්. ටී. ටී. ඊ ය විසින් පන්නල දාල හිටියේ. ඒ මිනිස්සු අතට අහුවුණ දේ අරගෙන පැනලා ආවා. ඒ වනවිට රට තුළ නොයෙක් මානව හිමිකම් සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධාන රට තුළ තිබුණා. මේ කිසි කෙනෙක් ඒවා දැක්කේ නැහැ. දැක්කත් නොදැක්ක වාගේ හිටියා. පුත්තලමේ විශාල මුස්ලිම් පිරිසක් අවතැන්ව පැමිණ ජීවත් වුණා. මම බලයට ආවාම මුතූර්වල ජනතාව මරලා තවත් පිරිසක් පැන්නුවා.
මම එතකොට මුස්ලිම් ආගමික නායකයන්ට සාකච්ඡාවකට එන්න කිවුවා. මම ඒ අයට කිවුව තමුන්නාන්සේලාගේ ජනතාවට ඊළඟ නබිනායක දිනයේදී ඔය කඳවුරුවල ඉදගෙන අවුරුද්ද කන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඒ අයගේ ගෙවල්වලට ගිහින් අවුරුදු කන්න දෙනවා කියලා.
මට දවස් 42 යි තිබුණේ. මම හමුදාවට නියෝග කළා. ඒ අය යුතුකම කළා. අද උතුර විතරක් නෙමෙයි රටම එක්සත් කරලා තියෙනවා. ප්රභාකරන් නැහැ. අවතැන් කඳවුරුවල ජනතාව පදිංචි කරන්න පටන් අරන් තියෙනවා. ඒ අය පදිංචි කරන කොට ජලය, විදුලිය, පාරවල් ඇතුළු අත්‍යවශ්‍ය දේ ලබාදෙන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒවා ගැන අමුතුවන් කියන්න ඕන නැහැනේ. එදා පලස්තීනයට අසාධාරණයක් වෙනකොට එරෙහිව ශ්‍රී ලංකාවෙදි මා කටයුතු කළා. එහෙමයි අපි ලෝක මුස්ලිම් ජනතාව වෙනුවෙන් කථා කළේ.
එදා මගේ බෙලිඅත්තේ මුස්ලිම් ඡන්ද 125 යි තිබුණේ. මම මේ 125 ගැන හිතල නෙමෙයි එදා කථා කළේ. අපි සමස්ත මුස්ලිම් ජාතිය වෙනුවෙනුයි ඒ පෙනී හිටියේ. අපිට ඡන්දය දුන්නද නොදුන්නද කියලා බලලා ඉදිරිපත් වුනේ නැහැ. අද රට නිදහස් කරගෙන සියලු ජාතීන් එක්කරල තියෙනවා. මට ඕන දීපු රටට ආදරය කරන පිරිසක්. ඒ පිරිස රැකගෙන ආරක්ෂා කිරීම හා ඔවුන් ජීවත් කරවීම මට පැවරී තිබෙනවා.
ඔබ මේ සියල්ල කළ යුත්තේ ඔබ වෙනුවෙන්ද? නැහැ. ඒ කාර්ය හෙට ඉපදෙන දරුවා වෙනුවෙනුයි. ඉපදෙන දරුවාට නිදහසේ ඉගෙන ගැනීමට, ජීවත්වීමට හැකි වාතාවරණයක් ලබාදීමේ වගකීමක් ඔබට තියෙන නිසයි. මෙතෙක් කාලයක් ව්‍යාපාරිකයෝ දෙතුන් දෙනකුගේ අතකොලු බවට පත්කරන යුගය අවසන් කරනවා.
මේ වේදිකාවේ ශ්‍රී ලංකා කාරයෝ වශයෙන් ඉන්නේ මමයි සුසිලුයි විතරයි අනෙක් ඔක්කොම එක්සත් ජාතික පක්ෂයේ අය කියලා අසාද්සාලී මහතා කිව්වා. එතුමාට අමතක වුණා එතුමගේ පියාට තමයි එදා කොමියුනිස්ට්කාරයා කියලා කිවුවේ කියලා. එතකොට මේ ප්‍රදේශයේ කොමියුනිස්ට් කාරයොත් ඉඳලා තියෙනවා. ඒ වගේම අපි සමඟ හිටිය අය රැකගන්නත් අපි කටයුතු කරල තියෙනවා.
දැන් එක්සත් ජාතික පක්ෂයට යනඑනමං නැතිවෙනවා. තමන්ගේ මහමැතිවරණ ලැයිස්තුවත් හරියට හදාගන්න බැරිවෙලා තියෙනවා. කුරුණෑගල අත්සන් කරල දීපු කෙනාගේ නම නැතිවෙලා. අපි මහමැතිවරණයට ලැයිස්තුව හදන්න පක්ෂ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහත්තයට දුන්නේ දින හතයි. එතුමා තමන්ගේ ප්රචාරක කටයුතුත් නවත්තලා ඒ දේ හරියට කරලා බාරදුන්නා. එවැනි කැපවෙලා වැඩකරන ලේකම්වරු තමයි පක්ෂයකට ඉන්න ඕන.
ඒ වගේම අපිට අවශ්‍යවෙලා තියෙනවා වැඩ කරන පිරිසක්. පාර්ලිමේන්තු පුටු රත්කරන පිරිසක් මට වැඩක් නැහැ. ඒ දේ ඔබලා ඉටුකරදේවි කියා මා හිතනවා දැන් බංගලිදේශයේ, නේපාලයේ විදුලිය කපනවා. ඉන්දියාව ඊට ආසන්නව ඉන්නවා. අපි විදුලිය කපන්නේ නැහැ. අපි විදුලි බලාගාර හදලා තියෙනවා. ජලාශ හැදෙනවා.
මේ වතුවල මිනිස්සු ගැන අපි අවධානය යොමුකරල තියෙනවා. ඒ සඳහා නගමු පුරවරය වැඩසටහන ක්‍රියාත්මක කරල තියෙනවා. මීට පෙර මේ වතුවල ජනතාව ගැන රණසිංහ ප්‍රේමදාස මහතා අවධානය යොමුකර සේවයක් කළා. එතුමා මේ ජනතාවගේ සිත්තුළ ජීවත්වන බව මම දන්නවා. මම ගමෙන් නගරයට ආපු කෙනෙක් වශයෙන් ගමත් නගරයත් හඳුනාගෙන තියෙනවා.
මේ පාරත් සමහර ලොකු අය ඔබට අරවා මේවා දෙනවා කියල ඡන්දෙ ඉල්ලයි. ඔබ ඔබේ දරුවාගෙ අනාගතය ගැන හිතන්න. හෙට ඉපදෙන දරුවාට අනාගතය හදල දෙන්න හිතන් වැඩකරන්න. කවුරු මොනවා කීවත් මේ රටේ ඉදිරි අවුරුදු හත මමයි ජනාධිපතිවරයා ඒ නිසා මා සමඟ වැඩකරන්න පුළුවන් කණ්ඩායමක් මට අවශ්‍යවෙලා තියෙනවා. ඒ අවස්ථාව උදාකර දෙන්න කියලා තමුන්නාන්සේලාගෙන් මා ඉල්ලා සිටිනවා.
අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා -
පසුගිය ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය අපි දිනුවා. ඒත් කොළඹ නගරයේ පාඩුවක් වෙලා තිබුණා. ඒ පාඩුව මගහරින්න තමයි අසාද් සාලි මහතා කොළඹට ඉදිරිපත් කළේ.
මේ මැතිවරණය බැලුවම වෙනදාට කොළඹ දකින්නට තිබුණේ කොළ කොඩිවලින් සරසලා. එදා අපිට මතකයි උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල මේ සේරම කොළපාට වලින් සරසලා. අද මේ ප්‍රදේශ නිල් බලකොටු බවට පරිවර්තනය වෙලා තියෙනවා.
ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති රාජිත සේනාරත්න මහතා -
මම මගේ කළුතර මැතිවරණ රාජකාරීවලින් පිට පැමිණ රැස්වීමක් අමතන පළමු රැස්වීම මේකයි. මෙතනට මම ආවේ මගේ මිත්‍ර අසාද් සාලි මහතාගේ මිත්‍රකම නිසයි.
අසාද් සාලිල අපි එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්රහණයන් යනුවෙන් වෙහෙස මහන්සි වී වැඩකළ අය. අපි එකතුවෙලා ඉන්නේ ලංකා ඉතිහාසය අලුත් තැනකට ගෙනියන්නයි.
කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අසාද් සාලී මහතා -
1993 වසරේ රණසිංහ ප්‍රේමදාස මහතාට පසුව අලුත්කඩේට ආපු පළමු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි. මේ එතුමා ආවේ මැද කොළඹ දිනවන්නයි. එදා ජනාධිපතිවරයා මැද කොළඹ නාමයෝජනා අත්සන් කරන්න කියපු වෙලාවේ මම එතුමාට කිවුවා මැද කොළඹ දිනනවා කියලා.
එදා ජනාධිපතිවරණයෙන් මහින්ද මහත්තයව පරාජය කරන්න මේ රටේ වගේම විදේශ බලවේගත් කුමන්ත්‍රණය කළා. බොරැල්ලේදී මම කිවුවා ජනාධිපතිවරයා ලක්ෂ 15 කින් දිනනවා කියලා. ඒකටත් වැඩියෙන් එතුමා ජයග්‍රහණය කළා. ඒ ගැන මම සතුටු වෙනවා.
එදා ජනාධිපතිවරණයෙන් දිනපු වෙලාවේ රනිල් හකීම් කිවුවා කොම්පියුටර් ජිල්මාට් කියලා. මමත් බලාගෙන හිටිය අලුත්කඩේට කොම්පියුටර් ජිල්මාට් ගැන නඩුවකට ඒ අය එයි කියලා. ඒ අය ආවා කොම්පියුටර් ජිල්මාට් ගැන මුකුත් නැහැ.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා -
මේ ප්‍රදේශයේ බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩ කළ අය නොවෙයි. නමුත් ජනාධිපතිවරයාගේ නිවැරැදි නායකත්වය දැකලා ඒ යටතේ අප සමඟ දැන් එක්වී වැඩකරනවා. ඒ නිසා මෙවර විශාල ඡන්ද සංඛ්‍යාවකින් මැද කොළඹ දිනන්න අවස්ථාව ලැබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ සරත් කෝන්ගහගේ මහතා
අද විශේෂ දවසක්. මේ රැස්වීම් කොළඹ කොහේ තිබ්බත් හරියන්නේ නැහැ. මෙතනට රණසිංහ ප්‍රේමදාස මහතාට පස්සේ ආවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විතරයි. මේ ස්ථානයට රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග, වැනි අයවත් ඇවිත් නැහැ.
චමින්ද සිල්වා

